"මේක මහ සාපලත් නගරයක්, නුවරට ප්‍රේමයේ නගරය කියල ඔය කවිකාරයො නවකතාකාරයො අත්කැඩෙනකල් ලිව්වට කිව්වට නුවර කියන්නෙ ඇත්තටම විරහවේ නගරය,
ඔයා දන්නවද ඔය නුවර වැව පතුලෙ එක්තරා තැනක තියෙනව සමාන්තර ලෝකෙකට යන දොරටුවක්, ඒ ලෝකෙ ඉන්නව මහා භයානක රාක්‌ෂයො වර්ගයක්, පුදුමසහගතම කාරණාව කියන්නෙ ඒ රාක්ෂයො පෝෂණය වෙන්නෙ 'ප්‍රේමයෙන්', එයාලට බඩගිනි දැනුණහම එයාල කරන්නෙ ඒ දොරටුව හරහා ඇවිදින් වැව් පත්ලෙ ඉඳන් උඩහට පීනල ඇවිත් වළාකුළු බැම්මෙ තැනින් තැන හැංගිලා හොරෙන් බලාගෙන ඉන්නව. මිනිස්සුන්ට උන්ව පියවි ඇහැට නොපෙනෙන්න උන් රූපාන්තරණය වෙනවා.
වළාකුළු බැම්මෙ අද්දරින් අත්පටලගෙන ආදර වදන් මුමුණ මුමුණා කුඩ යටින් ඇවිදගෙන එන ආදරවන්තයො දැක්ක ගමන් උන්ගෙ ඔය ආදර බඩගින්න වැඩිවෙනව, උන් එතැනින් වැඩියෙන්ම ප්‍රේමය පිරුණු මනුස්සය පස්සෙන් කාටවත්ම නොදැනෙන්න කාටවත් නොපෙනෙන්න පන්නගෙන එනවා, ඊටපස්සෙ අංශුවක් ගානට පුංචි වෙලා කල්යල් බලල ඒ කෙනාගෙ හිතේ හිදැස් අස්සෙන් එයාටවත් නොදැනෙන්න රිංගනව. ඊටපස්සෙ වෙන්නෙ මොකක්ද දන්නවද ?
උන් ඒ හිත් ඇතුළෙ පැලපැදියම් වෙලා ඒ හිත් ඇතුළෙ අනෙකා කෙරෙහි තියෙන ඒ ආදරය තමන්ගෙ ඇඟට උරාබොනව අවශෝෂණය කරගන්නව, ඒ ආදරයෙන් තමන්ගෙ අර බඩගින්න නිවාගන්නව.
ඒ අතරවාරයේදී ඒ රිංගන මිනිස්සුන්ගෙ හිත් ඇතුළෙ අනෙකා කෙරෙහි තියෙන ආදරය, ආදරය පිරුණු හැඟීම ක්‍රමක්‍රමයෙන් නැතිවෙන්න ගන්නව, ඒ හිත්වල ආදරය මැරෙන්න ගන්නව, ඒ මිනිස්සු කෙටි කාලපරාසයක් ඇතුළත හිතාගන්නවත් බැරි විදිහට, අංශක 180කින් සම්පූර්ණයෙන් ම වෙනස් මිනිස්සු බවට පත්වෙනව. වෙනදට පුදුම තරමක් ආදරණීය උණුහුමකින් හරි ලෙගතුකමකින් කතාකරපු ඒ මිනිස්සුන්ගෙ ආමන්ත‍්‍රණයන් රළු, සීතල ඒවා වෙන්න ගන්නව, වෙනදට පැයගණන් කතාබහකරපු ඒ මිනිස්සු විශ්වාස කරන්න බැරි විදිහට නිහඬ වෙන්න අනෙකාව මඟාරින්න ගන්නව, වෙනදට අනෙකාගෙ හිත යන්තමටවත් නොරිද්දුව ඒ මිනිස්සු හිතාගන්නවත් බැරි විදිහට අනෙකාව රිද්දන්න ගන්නව, ඒ මිනිස්සුන්ගෙ අවම මානුෂීයත්වය පවා නැතිවෙන්න ගන්නව,
ඒක මහ දරුණුම දරුණු ඛේදවාචකයක් !
කාටවත්ම,හතුරෙකුටවත් දැනෙන්න හොඳ නැති නරකම නරක දෙයක්, ඒක දන්නෙ ඒ විඳවන අනෙකා විතරයි, ඒ මිනිස්සු ඇතුළෙ වික්ෂිප්තභාවය, පුදුමය, වේදනාව, කලකිරීම වගේ හැඟීම් පිරෙන්න ගන්නව, උ.න්ගෙ හිත් ඇතුළෙ මිහිපිට අපායක් නිර්මාණය වෙනව,
"මට ඔයාගෙන් එහා ජීවිතයක් නැහැ, ඔයා තමයි මගෙ හැමදේම," කියපු මිනිස්සුන්ගෙම මුවින් "මට ඔයා ගැන තවදුරටත් හැඟීමක් නැහැ, මට තවදුරටත් ඔයාව එපා," කියන අන්තම ඛේදනීය තැන වෙනකල් අර රාක්ෂයො ඒ මිනිස්සුන්ගෙ හිත් ඇතුළෙ ආදරය උරාබීලා තමන්ගෙ බඩ යහමින් පිරුණයෙන් පස්සෙ නොදැනෙන්න පිටවෙලා යනව ආයෙමත් උන් ආව දිහාවටම.
ඉතිහාසයේ ඉඳන්ම ඔයාට කියන්නෙ රජකාලෙ ඉඳන්ම ගොඩ දෙනෙක් ඔය රාක්‌ෂයො දඩයම් කරන්න, ඔය රාක්ෂයින්ගෙ ලෝකෙට යන දොරටුව වහන්න උත්සාහ කළත් ඒ හැම උත්සාහයක්ම ගඟට කැපූ ඉනි වගේ අසාර්ථක වෙලා තියෙනව,
ඔය දොරටුව අවුරුදු දහස් ගාණක් පුරාවටම වැහිල තිබුණ එකක්, ජනප්‍රවාදයෙ කියන්නෙ ශ්‍රී වික්‍රමරාජසිංහ රජ්ජුරුවන්ගෙ කාලෙ නුවර වැව හදන්න ඔතන තිබ්බ වෙල්යාය කණිනකොට ඒ අතරෙ ඔය දොරටුව අත්වැරදීමකින් කැඩුණා කියල, එතනින් පස්සෙ තමයි ඔය රාක්‌ෂයො සක්‍රීය වෙන්න ගත්තෙ, උන්ගෙ මුල්ම ගොදුර වුණේ වෙන කවුරුවත් නෙවෙයි ශ්‍රී වික්‍රමරාජසිංහ රජ්ජුරුවෝ !
ඒ කාලෙ රජ්ජුරුවන්ගෙයි පිළිමතලාවේ කුමාරිහාමිගෙයි අතරෙ පෙම් පළහිලව්වක් තිබුණා, ඒක ඒ කාලෙ කන්දෙ නුවර ප්‍රසිද්ධ රහසක්, ඒ ප්‍රේමය මුකුත් ඇස්වහක් කටවහක් නැතුව ගලාගෙන ගියා, කවුරු කවුරුත් ආසාවෙන් ආදරෙන් බලාන උන්නෙ පිළිමතලාවෙ කුමාරිහාමි රජ්ජුරුවන්ගෙ රන්දෝලි බිසෝ තනතුරට එනකල්,
ඒත් අවාසනාවකට වගේ ඔය රාක්ෂයො
නිසා ඒකටත් කණකොකා හැඬුවා, ඒකෙ
ප්‍රතිඵල විදිහට මානසිකව අඩියටම
බිඳවැටුණ කඩාවැටුණ රජ්ජුරුවෝ පහතරට
නෝත් ආණ්ඩුකාරයා එවපු නියෝජිතයා
වුණ සටකපට ජෝන් ඩොයිලි රජ්ජුරුවෝ
බැහැදකින්න එනකොට පඬුරු විදිහට ගෙනාපු
බීමට ලොල්වුණා, මානසිකව බිඳවැටුණ බේබදු
රජ්ජුරුවන්ගෙ අතින් වැරදි තීරණ ගාණක්ම
රාජ අණින් ක්‍රියාත්මක වෙලා රජ්ජුරුවෝ
ගැන කන්ද උඩරට මිනිස්සුන්ගෙ හිත්වල
ලොකු අප්‍රසාදයක් ඇතිවුණා, එතනින් එහා ඉතිහාස කතාව ඉතින් ඔය කවුරුත් දන්නවනෙ ඉස්කෝලෙ යන පොඩි එවුන් පවා,
කොහොමහරි උන් තාමත් නිදහසේ යනව එනව, වළාකුළු බැම්ම අස්සෙ හැංගිලා ඉන්නව, ආදරණීය හිත්වල හිදැස් අස්සෙන් රිංගල ඇවිත් ඒ හිත් අස්සෙ ආදරය උරාබීල ආයෙමත් උන්ගෙ ලෝකෙටම පිටව යනවා.
කාටහරි පුළුවන් නම් ඔය රාක්‌ෂයො මෙහෙට එන වැව්පත්ලෙ දොරටුව වහල දාන්න, අන්න එදා ඉඳන් නුවර ඇත්තටම 'ප්‍රේමයේ නගරය' වෙයි.
මේ කතන්දරේ දන්නෙ බොහොම අතළොස්සක් විතරයි, දන්න අය කාටවත්ම කියන්නෙත් නෑ උපන්තේකට ඔය ඉසව්වට තමන් ආදරය කරන මනුස්සයෙක් එක්කං එන්නෙත් නෑ.!
එයා හැමවෙලේම වගේ හැඬුම්බරව වළාකුළුවලින් බරවෙලා ඉන්නෙ ඔය නිසා කියල කියන්නෙ..."
Credit Wikum Sanjith Ranaweera