මෙවැනි දීර්ඝ සංසාරය පුරා සැරිසරද්දී බුදුරජාණන් වහන්සේ දක්වනවා, "මහණෙනි, ඔබලා මේ දීර්ඝ කාලය තුළදී හරකකු වෙලා ඉපදී බෙල්ල කපා මැරෙන විට ගිය ලේ ප්‍රමාණය එකතු කළා නම්, එය මේ මහා සාගරයේ ජලයට වඩා වැඩියි" කියා. "ඌරකු වෙලා මරනකොට ගිය ලේ ප්‍රමාණය එකතු කළා නම්, මහා සාගරයේ ජලයට වඩා වැඩියි ඒ ලේ ප්‍රමාණය". මේ විදියට කුකුළන් , බැටළුවන් ආදී සෑම සත්වයකු ගැනම ඒ කරුණ වඳාලා. වෙනත් විවිධ තිරිසන් සත්වයන් වෙලා අප ඉපදුණා. අප ඉපදුණේ නැති තිරිසන් ආත්ම භාවයක් නැහැ. හැම තිරිසන් සතෙක්ම වෙලා ඉපදුණා.
බුදු රජාණන් වහන්සේ පෙන්නුම් කරනවා එකම අම්මා කෙනකු මැරුණට පස්සේ හඬපු කඳුළු එකතු කරානම් මහණෙනි, මේ මහා සාගරයේ ජලයට වඩා ඒ කඳුළු වැඩියි කියලා. මේ වගේම උන් වහන්සේ ප්‍රකාශ කළා එකම පියකු වෙනුවෙන්, එකම දරුවකු වෙනුවෙන්, එකම සහෝදරයකු වෙනුවෙන්, එකම සහෝදරියකු වෙනුවෙන් හඬපු කඳුළුත් මෙහෙමයි.
එක කල්පයක් තුළඳී පමණක් අපි මනුෂ්‍යකු වෙලා ඉපඳුණු පසු මැරිච්ච ඇටකටු ටික එකතු කළා නම්, වේපුල්ල නම් මහා පර්වතයක් පෙන්වා, උන් වහන්සේ ප්‍රකාශ කරනවා "මේ වේපුල්ල පර්වතයට වඩා, ඒ ඇටකටු වල ප්‍රමාණය විශාලයි " කියා. ඒ තරම් වාර ගණනක් එක කල්පයකදී අප මනුෂ්‍යන් වෙලාම ඉපදිලා තියෙනවා. එවැනි කල්ප වචන වලින් සීමා කරන්නට බැරි තරම් ප්‍රමාණයක් සංසාරයේ ඉපදි-ඉපදි, මැරි- මැරී ආවා.
මේ සංසාරයේ මනුෂ්‍යන්, තිරිසන් සතුන් ලෙස පමණක් නොව, අප ඉපදුණේ. ප්‍රේත ලෝක වල අප ඉපදිච්ච වාර ගණන මේ මහා පොළොවේ වැලි කැට වලට වඩා වැඩියි. බුදු රජාණන් වහන්සේ එක තැනකදී දක්වනවා නියපොත්ත උඩට පස් ටිකක් අරගෙන පෙන්වලා, " මෙන්න මේ නියපොත්ත උඩට ගත්ත පස් ටික වගේ ඉතා සුළු පිරිසක් තමයි, මනුෂ්‍ය ලෝකයෙන් මැරුණට පස්සේ සුගතියක උපදින්නේ. මහ පොළොවේ පස් තරම් ප්‍රමාණයම් දුගති වල උපදිනවා" කියලා. ඒ වගේම උන්වහන්සේ වඳාරනවා "දුගති වලට ගියාට පස්සේ , නැවත සුගතියක උපදින්නට පුළුවන් වන්නේ, නේ නියපොත්ත උඩට ගත්ත පස් ටික වගේ ඉතා සුළු දෙනකුට පමණයි. මහ පොළොවේ පස් තරම් පිරිසක් දුගතියට ගියාට පස්සේ, නැවත දුගතියෙන් දුගතියටම යනවා. දුගතියෙන් දුගතියේමයි උපදින්නේ " කියලා.
මනුෂ්‍යකුටවත් සුගතියක උපදින්නට පුළුවන් වන්නේ ඉතාම කලාතුරකින් නම්, දුගතිගාමි වුණාට පස්සේ නැවත සුගතියකට එනවා කියන කාරණාව හිතන්නටවත් බැරිතරම්.
අපි මේ සංසාරයේ කොයිතරම් නම් වාර ගණන ක් ප්‍රේත ලෝක වල දුක් විඳලා තිබෙනවාද .යක්ෂ්‍යන් වෙලා, මළ ප්‍රේතයන් වෙලා, කුම්භාණ්ඩ ආදී විවිධ අමනුෂ්‍යන් වෙලා කොපමණ දුක් විඳලා තිබෙනවාද..මේ අමනුෂ්‍යන් වෙලා අප ඉපදුණ වාර ගණන අසංඛ්‍ය ගණනින් වත් දක්වන්නට බැහැ.
මේ විතරක් නොවෙයි, අපි අවීචී ආදී නිරය වල ඉපදිච්ච වාර ගණනත් කෙළවරක්, සීමාවක් නැහැ. බුදුරජාණන් වහ සේ ප්‍රකාශ කරනවා, "යාවඤ්චිදං භික්ඛවේ උපමා'පි න සුකරා යාව දුක්ඛා නිරයාතී" උපමාවකින්වත් අවීචී ආදී නරකවල තිබෙන දුක මහණෙනි කියන්නට බැහැ කියලා. එහි තිබෙන ගින්දර වල තිබෙන සැර , ඒ නිසා ඇතිවන දුක වචන වලින් දක්වන්නටත් බැහැ. ඒතරම්ම දුකක් නිරිසතුන්ට විඳින්නට සිදු වෙනවා.
උන්වහන්සේ දක්වනවා අවීචී ආදී නිරයවල් තිබෙන බව දැක්වීම සඳහා, " තං ඛො පන අහං භික්ඛවේ , නාඤ්ඤස්ස සමණස්ස වා බ්‍රාහ්මණස්ස වා සුත්වා වදාමි. අපිච යදේව මේ සාම ඤාතං , සාමං දිට්ඨං, සාමං විදිතං තමේවාහං වදාමි තී" කියා පාඨයක්.
" මහණෙනි, මමම දැක්කා, මම ම ප්‍රත්‍යක්ෂ ලෙස මැනවින් පෙනිලයි මේ කියන්නේ. වෙනත් ශ්‍රමණයකුගෙන් හෝ බ්‍රාහ්මණයකුගෙන් අහලා කියන කරුණක් නොවෙයි. අපාය වැනි දේවල් තිබෙනවා කියන කරුණ, බුදු රජාණන් වහන්සේ දේව දූත වැනි සූත්‍ර වල එලෙසින් දක්වා තිබෙනවා.
නිරි සතුන්ගේ ශරීර ගින්දරෙන් දැවෙන කොට, මුළු ශරීරයම ගින්දරක් මැද දැවෙන කොට, - සාමාන්‍ය ගින්දරක් නොවෙයි මේ අවීචී යෙ ගිනි කියන්නේ, ඊට වඩා ඉතා දරුණු ගින්දරක්. හම පිච්චිලා හළු වී යනවා, මස් පිච්චිලා කර වනවා, නහර දැවී යනවා, ඇටකටු වලින් දුම විහිදෙනවා. නමුත් මැරෙන්නේ නැහැ. එලෙසින් දරුණු වූ, කටුක වූ , තීව්‍ර වූ දුක් ඒ නිරි සතුන් වින්දත්, ඔවුන්ගේ පාප කර්මය ගෙවී නිමවන තෙක් ඔවුන් මැරෙන්නේ නෑ.පාප කර්ම ශක්තිය තිබෙන තාක් කල් කර්ම ගෙව ගෙවා බුද්ධාන්තර ගණන් සමහර විට දුක් විඳින්නට සිදු වනවා.මෙවැනි අපා දුක් අප විඳි වාර ගණන මෙතැකැයි කියා කියන්නට බැහැ.කොයිතරම් නම් කාලයක් අවීචී ආදී නිරය වල සිටියා දැයි කියා සිතන්නටවත් බැහැ. ඒතරම්ම දීර්ඝ කාලයක් මේ විදියට සංසාරය පුරා අපි දුක් විඳගෙන ආවා, කියන කාරණය තේරුම් ගන්නට ඕනෑ.
අති පූජ්‍ය දන්කන්දේ ධම්මරතන හිමියන්ගේ " දුක පිරිසිඳ දකින්න" ග්‍රන්ථය ඇසුරෙනි.